Showing posts with label story. Show all posts
Showing posts with label story. Show all posts

Monday, January 27, 2014

කොරියන් = චයිනීස් වෙච්ච හැටි



කොහොමද ඉතින්,

බ්ලොග් එක ලියන එක නවත්තල හුඟ කාලයක් ගතවෙලා. හරියටම කිව්වොත් මාස අටක්. තවමත් මේක host කරගෙන ඉන්නවට Blogger එකට පිං දෙන්න ඕනි. වෙන තැනක තිබුනනම් කෑලිවත් නෑ දැන්.

ඉතින් කරන්න වැඩකුත් නැතිව නිවාඩු කාලේ ගතවෙලා යන නිසා පොඩි Update පාරක් දාන්න හිතුන. මේ දවස්වල මගේ ෆෝන් කට්ටත් නැතිවෙලා නිසා අලුත් එකක් ගන්නයි හිතුවෙ. බුකියේ, ඉක්මන් එකේ පොඩ්ඩක් හොයල බලනකොට හම්බුනා සැම්සුන්ග් ගැලැක්සි S4 කොරියන් ෆෝන් ලාබෙට තියෙනවා. හිතාගන්නවත් බැරි තරම් අඩුවට. ඉස්සරත් LG Optimus සීරීස් එකේ කොරියන් වර්ෂන් අතපත ගාලා තිබුණු නිසා කොරියන් බඩු සුපිරි බව දැනගෙන හිටිය. මේකත් එහෙම ඇති කියල හිතාගෙන ගාන ෂුවර් කරගන්න කියල ebay එකේ සර්ච් පාරක් දැම්ම galaxy s4 korea කියල. අම්මට සිරි. ඩොලර් 500ක්ලු. මේ හුටපටේ මොකක්ද බලන්න ආපහු ගැහුවා galaxy s4 කියල විතරක්. ඔන්න එනවා ඩොලර් 50 ඉදන්. බලපුවාම මේවා කොරියන් නෙමෙයි චයිනා. HDC කොම්පැනියේ හොර බඩු. මේ ගැන වැඩිදුර හොයනකොට අපේ කොල්ලෙක් ලියපු ලිපියක් හම්බුනා. (මෙතනින් බලන්න) හොයන්නෙ බලන්නෙ නැතුව ගත්තනම් බඩුම තමයි. මේකෙන් ඉගෙනගත්ත පාඩම තමයි කොරියන් ෆෝන් ගන්න ඉන්නවනම් සැම්සුන්ග් ගැලැක්සි S4 නම් ගන්න යන්න එපා. මොකද ඔරිජිනල් කොරියන් ඒවා පට්ට ගණන්.ඊට වඩා හොඳයි ඉන්ටර්නැෂනල් වර්ෂන් ගන්නවා. හැබැයි LG වලට මේක අදාල නෑ. ඔරිජිනල් කොරියන් ඒවා අඩුවට තියෙනව. ආපහු Optimus එකකට බහින්නත් හිතෙනව දැන්නම්. ඒත් සෙකන්ඩ් හෑන්ඩ් නිසා හිතට හරි නෑ.

කොහොම හරි දවස් දෙකක් විතර හොයල හොයල අන්තිමේදී ZTE එකක් ඕඩර් කළා Aliexpress එකේ. දැන් ඒක එනකන් බලන් ඉන්නව.

Friday, October 5, 2012

ebay ගනුදෙනු


මේ වෙනකොට ebay ගැන දන්නෙ නැති පිරිසක් ඉන්නවා කියල හිතන්න අමාරුයි. එතරම් ජනප්‍රිය භාණ්ඩ අලෙවි සේවාවක් වෙන නැහැ. නමුත් තවමත් ebay ගනුදෙනු පිලිබඳ චකිතයකින් පසුවන පිරිස් ඉන්න නිසාම මේ ලිපිය ලියනවා.

මම ebay ගිණුමක් හැදුවේ මීට වසර ගානකට කලින්. නමුත් ක්‍රෙඩිට් කාඩ් එකක් මගින් ඒ හරහා ගනුදෙනු කරන්න ගත්තේ මාස 10කට කලින්. මේ සඳහා මං භාවිතා කරන්නේ paypal ගිණුම සහ people's bank credit card එක.

paypal ගැනනම් බොහෝ ලිපි මං දැකල තියෙනව. ගිණුමක් අරඹන එක හරිම පහසුයි. නමුත් credit card ගැනනම් කියන්න වෙන්නෙ වෙනස් දෙයක්. paypal ගිණුම ක්‍රියාත්මක කරන්න අපට භාවිතා කරන්න පුළුවන් sampath web card එක. ගොඩක් දෙනා ඒක පාවිච්චි කරන්නේ ආරක්ෂාවට. visa සලකුණ ඇති වෙනත් ඕනෑම credit හෝ debit කාඩ්පතක් භාවිත කරන්නත් පුළුවන්. සෑම කාඩ්පතක්ම පළමු paypal ගනුදෙනුව සිදුකිරීමට පෙර verify කරගන්න ඕනා. මේ සඳහා උපරිම දින 30ක් ගතවෙනවා. paypal මගින් නිකුත් කරන රහස් අංකයක් credit card statement (මාසික බිල්පත) එකේ සටහන් වෙලා තියෙනව. මේ අංකය මගින් තමයි paypal ගිණුම ක්‍රියාත්මක කරගන්න පුළුවන්. ඉන්පසු සාමාන්‍ය පරිදි ගනුදෙනු කරන්න පුළුවනි. debit කාඩ් එකක් නම් පළමුව card centre එකට දුරකථන ඇමතුමක් දී අන්තර්ජාල ගනුදෙනු සඳහා කාඩ්පත active කරගන්න ඕනා. ඒ සඳහා උපරිම දින 3ක් පමණ ගතවෙනවා. බොහෝ credit කාඩ් වලදී මේ පියවර අදාළ වෙන්නෙ නෑ. ඔබට credit card එකක් ලබාගැනීමට අවශ්‍ය වුවත් තවමත් ශිෂ්‍යයෙක් නම් බැංකු ගිණුමේ යම් මුදලක් hold කර කාඩ්පත ලබාගත හැකියි. සාර්ථකව verify කරගත් paypal ගිණුමක් ඇත්නම් ඔබට ගනුදෙනු අරඹන්න පුළුවන්.

ebay මගින් භාණ්ඩයක් ගන්නාවිට සැලකිය යුතු දේවල් කිහිපයක් තිබෙනවා. වැදගත්ම එක තමයි delivery method එක. Worldwide යනුවෙන් සඳහන්නම් පමණයි ලංකාවට එම භාණ්ඩය ගෙන්වාගන්න පුළුවන්. free shipping නම් ගැටළුවක් නැහැ. නමුත් අනෙක් delivery methods වලදී භාණ්ඩයේ මිලට ප්‍රවාහන ගාස්තුව එකතු වෙනවා. ඒ ගැන සැලකිලිමත් නොවුනොත් ලාබෙට බඩුගන්න හිතන්නවත් එපා. මීට අමතරව විකුණුම් කරුගේ seller's score එක මගින් අව්‍යාජ වෙළෙඳුන් හඳුනාගන්න පුළුවනි. buy now හා auction අතර වෙනස ඔබට සිතාගන්න පුළුවනි. බොහෝ auction වලට bid කරද්දී අන්තිම මොහොතේ පමණක් bid කිරීමෙන් සුළු ලාභයක් ලබන්නත්  හැකියි.

මිල ගැන කියනවා නම් ලංකාවේ මිලට වැඩිය අඩුවෙන් ගෙවා බොහෝ භාණ්ඩ ගෙන්විය හැකියි. පොඩි පොඩි භාණ්ඩ සඳහා වඩා සුදුසු china,hongkong,malaysia වල වෙළෙඳුන් වන අතර mobile phones හෝ මිල වැඩි gadget සඳහා යුරෝපීය වෙළෙඳුන් තෝරාගන්න. භාණ්ඩය නිවසට ලැබීමට දින 7 සිට  සති 3ක් පමණ ගතවිය හැකියි.
නොලැබුනොත් මුදල් ආපසු ගෙවන ප්‍රතිශතයද වැඩියි. ඒ නිසා භාණ්ඩයක් මිලට ගැනීමට පෙර එහි විස්තරය හොඳින් කියවා අවබෝධ කරගන්න.

මා ගෙන්වාගත් භාණ්ඩ කීපයක්.....

Monday, March 26, 2012

සිහිනය - වාසනාව

අද කාලේ කොල්ලෙක්ගෙ ලොකුම බලාපොරොත්තුව  කෙල්ලෙක්වත්, සල්ලිවත් නෙවෙයි. එහෙනම් මොකක්ද  දන්නවද ? හොඳ වයිෆයි නෙට්වර්ක් එකක් අහු වේවා කියන එක. අතේ තියෙන තුට්ටු දෙකට තට්ටු නොවී ඉන්ටනෙට් යන්නනම් මෙහෙම එකක් නැතුව බැහැ. ඉතින් මේ කොල්ලත් ඔය අරමුණ හිතේ තියන් කොළඹ වටේ රවුම් ගැහුවට මෙච්චර කාලෙකට හරිගියේ නැහැ නොවැ. අන්තිමේදි දෙන දෙය්යෝ බෝඩිමටම ගෙනත් දෙනවා කියන්නා වගේ හම්බුනා....ලඟපාත කඩේක 8Mbit Unsecured ADSL ලයින් එකක්. එදායින් පස්සේ මගේ ලැප් එකට බරටම වැඩ. බලපු නැති ටීවී සීරීස්, ගහපු නැති ගේම්ස්, අරවද මේවද කිව් එකේ පිරිලා... හිටු කියල බානවා. මෙන්න මෙහෙමයි වේගේ....


කඩේ එකා මාව හොයන් ආවේ නැත්නම් කොල්ල අනිවාර්යෙන්ම ගිගා 300ක් බානව මේ මාසෙට....
ඉතින් ඔය ඇත්තොත් නිකම් ඉන්න වෙලාවට පොඩි සෝදිසියක් දාල බලන්න. මට වගේ පිනා චාන්ස් එකක් හම්බුවෙන්න ඉඩ තියෙනවා. එහෙනම් අපි ගියාවේ.... ජය !

Tuesday, March 6, 2012

ගේම් පිස්සුව හා ඇඩ්-හොක් පිහිට

මීට මාසෙකට විතර කලින් ආපු අදහසක් තමයි හොස්ටල් එකේ ගේම් සර්වර් එකක් හදන එක. එත් ඕනි කරන බඩු භාණ්ඩ නැතිකොට මොනව කරන්නද? ටිකක් කල්පනා කරල බලනකොටයි මතක් උනේ දැන් එන හැම ලැප්ටොප් එකේම වයිෆයි තියෙන විත්තිය. එත් වයිෆයි රවුටරයක්  නැතුව නෙට්වර්ක් එකක් හදන හැටි ගැන අදහසක් ගන්න බැරි උනා. බොක්කෙන්ම හොයනකොට දැක්ක ඇඩ්-හොක් කනෙක්ෂන් ගැන. ඇඩ්-හොක්  කියන්නේ වින්ඩෝස් විස්ටා වලට මුලින්ම ආපු තාවකාලික නෙට්වර්කින්ග් ක්‍රමයක්. ඕනි දෙයක් වෙච්චාවේ කියල හදල බැලුව මේ සයිට් එකේ තියෙන විදිහට. එළකිරි වගේ වැඩ !! 


දැන් ඉතින් අපේ උන්ගෙ වැඩේ පාඩම් පැත්තකින් තියල හතර හතර සෙට්වෙලා මොස්ට්‌ වෝන්ටඩ් ගහන එකයි පහළොවක් විතර වටවෙලා කෝල් ඔෆ් ඩියුටි එකේ මරාගන්න එකයි.... 
ඇඩ්-හොක් එකකින් උපරිම 54Mbps වේගයක් හම්බ වෙනවා. මැෂින් 10ක් කනෙක්ට් කරගන්න ඒ හොඳටම ඇති.

Tuesday, January 31, 2012

නිවසේ/බෝඩිමේ සිටම පහසුවෙන් බිත්තරයක් බැදගන්නා අන්දම...


අද මම කියල දෙන්නේ බිත්තර බුල්ස්අයි කරන්න පහසු ක්‍රමයක්. කුස්සියක් නොමැති වටපිටාවකට හෝ කෑම්පින් ගිය විටෙක කදිමයි.

අවශ්‍ය ද්‍රව්‍ය :– 
බිත්තරයක්, තෙල් සුවල්පයක්, ඇලුමිනියම් පිඟානක්, නොකියා හෝ සෝනි එරික්සන් ෆෝන් එකක්, 3G පහසුකම, අවශ්‍ය ප්‍රමාණයට ලුණු හා ගම්මිරිස්.

සාදන ක්‍රමය:-
පළමුවෙන් ෆෝන් එක චාජරයට ගසන්න. ඉන්පසු 3G වලින් ෆිල්ම් එකක් වැනි දෙයක් ඩවුන්ලෝඩ් වීමට දමන්න. ඒ මත ඇලුමිනියම් පිඟාන තබා විනාඩි පහක් සිටින්න. තෙල් ස්වල්පයක් වක්කර ප්‍රවේසමෙන් කඩාගත් බිත්තරය එය මතට දමන්න. ලාවට බැදෙනවිට ලුණු හා ගම්මිරිස් එක්කරන්න. කර වීමට පෙර බාගෙන උණු උණුවේ රස විඳින්න.


සැ.යු.: මේ මගින් බිත්තර විතරක් නෙමේ අල කරියක්, චිකන් කරියක් උනත්  රත්කර ගතහැකිය. ෆෝන් එකේ වයිෆයි තිබේ නම් තේකක් උනත් හදාගෙන බිව්වහැකි. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.

Saturday, January 14, 2012

වයිරස් ගාඩ් හා ලංකාවේ මිනිස්සු....


අපේ කට්ටිය හරිම අමුතු පිරිසක් නේ. එයාල හිතන විදිහ හරිම වෙනස්. සමහරුන්ට තියෙන ලොකුම බය එයාලගේ කොම්පියුටරේට වයිරස් එයි කියන එක. ඒක නිසා විවිධ වයිරස් ගාඩ් හොයල දාගන්නවා. සමහරුන්ට යාලුවෙක් දීපු ඒක තරම් හොඳ එකක් නැහැ. තව අයට ඉන්ටනෙට් එකේ රිවීව් එකක තියෙන ඒක තමා හොඳම. කොම්පැනියෙන් කියනවනම් තමන්ගේ එක තමයි වැඩියෙන්ම විකිනෙන්නේ කියල, අපි ටක් ගාල ඒක දාගන්නවා. ඊටපස්සේ තමන්ගේ කොම්පියුටරේ රීසෝසස් සහ ඉන්ටනෙට් කනෙක්ෂන් එකේ මෙගාබයිට් පූජා කරගෙන ඉන්නවා. පස්සේ කෑ ගහනවා කොම්පියුටරේ ස්ලෝ වෙලාලු. ස්ලෝ නොවී තියෙයිද හැම මල ජරාවම පුරව ගන්නකොට? ඒ උනත් තව පිරිසක් ඉන්නවා ජීවිතේට වයිරස් ගාඩ් එකක් දාල නැති. එත් කිසිම වයිරස් එකකුත් ඇවිත් නැහැ. පුදුමයි නේද?

ඉතින්  මේ වගේ විවිධ අදහස් දරන අයට කියන්න දෙයක් තියෙනවා. මේ ලෝකේ තියෙන හැම වයිරස් එකම අපේ කොම්පියුටරේට එන්නෙ නැහැ. එහෙම එන්න නම් එක්කෝ ඔයා ගිය ආත්මේ පවු කරලා තියෙන්න ඕනි. නැත්නම් ලෝකේ තියෙන එකම කොම්පියුටරේ ඔයාගේ එක වෙන්න ඕනි.
ඒ හින්දා තේරුම් ගන්න... හොඳම වයිරස්ගාඩ් එක කියන්නේ ලෝකේ තියෙන ඔක්කොම අහුවෙන එකවත්, වැඩිදෙනෙක් පාවිච්චි කරන එකවත් නෙමෙයි. කොමන් සෙන්ස් එහෙම නැත්නම් සාමාන්‍ය දැනීම තමයි ඕනි කරන්නේ. අවාසනාවට ඒක ඩවුන්ලෝඩ් කරගන්න බැහැ. අත්දැකීම් වලින් තමයි ගන්න වෙන්නේ.

මේ ටික ලිව්වේ ගොඩාක් අය එකම ප්‍රශ්නය අහන නිසා...

මගේ පුද්ගලික භාවිතය නම් ඇවාස්ට්. ඒත් අත්‍යවශ්‍ය හින්දා නෙමෙයි. නමට එකක් තියෙන්න ඕනි නිසා. සරල, කුඩා වෛරස්ගාඩ් එකකින් ඔයාගේ කොම්පියුටරේ විතරක් නෙවෙයි, හිතත් සැහැල්ලු වේවි.

Monday, January 9, 2012

මිෂන් ඩිනර්වෝක් - රෑට කාපු හැටි


අද පෝය. හන්දියේ කෑම කඩ ඔක්කොම වහල. චයිනීස් එක විතරයි ඇරලා තිබුනේ. දවල්ට කන්නේ මොනාද කියල කල්පනා කළා. ෆ්‍රයිඩ් රයිස් කාල කාල අප්පිරියයි. අදහසක් ආවා. ගෙනාවා ලයිට් මාරි එකක්. ටී එකකුත් හදාගෙන ඒක ඉවර කළා. ඉතුරුවෙලා තිබුණු ක්‍රීම් ක්‍රැකර් දෙකතුනකටත් වැඩේ දුන්න. දැන්නම් ටිකක් ශේප් වගේ. ඔහොම ඉන්නකොට තමයි ඇඳුම් ටිකක් ගන්න ඕනි කියල කල්පනා වුනේ. හවස් වෙලා කිරිබත්ගොඩ ගියොත් ඒ වැඩෙයි කෑම වැඩෙයි දෙකම ගොඩදාගන්න පුළුවන්.

ඔහොම හිතල හැන්දෑවේ පහමාරට විතර කිරිබත්ගොඩ ගියා. ඈතින් පේනවා "චානක බ්‍රාස්" කියල බෝඩ් එකක්. "යකෝ යට ඇඳුම් විකුනන්න වෙනම කඩ තියෙනවනේ. ලංකාව මාර විදිහට දියුණු වෙලානේ" මට හිතුනා. ළඟට යනකොට දැක්ක ඒක පිත්තල බඩු කඩයක් කියල. තිලකේ අංකල්ගේ කඩේ ඇතුළු කඩවල් තුන හතරකට ගොඩවැදිලා එලියට එනකොට අටයි වෙලාව. වහිනවා. පොද ගහනවා. අයෙමත් වහිනවා. බැලුව හෝටලයක් පේන්න තියෙනවද කියල. වෙලාවට තියෙනවා එකක් කිට්ටුවෙන්ම. ගියා බලන්න.

"රයිස් ඇන්ඩ් කරි නෑ. ෆ්‍රයිඩ්රයිස්,කොත්තු,නුඩ්ල්ස් තියෙනවා...." කැෂියා කිව්ව. එතනින් එළියට ඇවිත් වටපිට බලනකොට දැක්ක තව එකක්. පාර පැනල ගිහින් බැලුව. "බත් නෑ...." ගිය පිම්මෙන්ම ආපහු ආව. හෝල්ට් එකක් විතර ඇවිදන් යනකොට දැක්ක තව කඩයක්. ඒකත් චයිනීස් වගේ. කෝකටත් ගියා බලන්න. "තියෙනවා..." සුවර් නැති නිසා ආපහු ඇහුවා. "රයිස්....?" "ඔව් තියෙනවා..." යන්තම් ගොඩ ගියා.. කියල හිතුව විතරයි එහා පැත්තේ කස්ට ඇහුව " රයිස් ඇන්ඩ් කරි තියෙනවද ?" කියල. "නෑ. ෆ්‍රයිඩ් රයිස් විතරයි....."
"මේ මොන #$%^&*&^ක්ද? මූ රයිස් කිව්වේ ෆ්‍රයිඩ් රයිස් වලටද ?" හැරුනා. ආවා. දැකපු පලවෙනි බස් එකේ එල්ලුනා. 


ටිකක් දුර යනකොට මතක් උනා මම ඉන්න හන්දියට කලින් හන්දියේ කෑම කඩ තියෙන බව. එතනින් බැහැල බලනකොට පොඩි කඩයක් තියෙනවා. ගිහින් ඇන්ටිගෙන් ඇහුවා. "තියෙනවා. මොනාද ඕනි? මාළු,කුකුල්මස්,බිත්තර..?" "මට මාළු කෑම පාර්සලයක් දෙන්න." පුදුම සතුටක් දැනුනා. දඟලපු හැටි දන්නේ මං විතරනේ. ඒ එක්කම ඇතුලෙන් කියනව "කෑම ඉවරයි !!!" මං මේ කියන්නේ බොරුවක් නෙමෙයි විස්වාස කරන්ඩ. ඔය වචන දෙක තමයි ඇහුනේ. ඇන්ටි මෝඩ හිනාවක්‌ දැම්ම. "බිත්තර රයිස් එකක් දෙන්නද? 110යි." හිතේ තිබුණු ඒවා කියන්ඩ බැරි නිසා මාත් හිනාවෙලා කිව්ව "හා. දෙන්ඩ" කියල. බාසා ෆ්‍රයිඩ්රයිස් එක ගහනකන් මම ගොනා වගේ බලං හිටිය. ඒකට චිකන් දානවා දැක්ක. "චිකන් නෙමේ ඉල්ලුවේ..." "මේක ටේබල්. ඊළඟ එක මල්ලිට." "යකෝ %&*$% ^#%%%යේ... මං සල්ලිත් දුන්න." වෙන දවසක් උනා නම් ඌට දෙකක් ඇනල හැරිලා එනවා. සිරාවටම.

කොහොම හරි විනාඩි පහෙන් මං කෑම එකත් අරන් එලියට ආව. "තව හෝල්ට් එකයිනේ. පයින්ම යනවා." කියල හිතල ගාටන්න පටන්ගත්ත. පයින් යන්න මට පුදුම ඇම්මක් තියෙනවා. ඉස්සර නුගේගොඩ ඉඳං කිරුළපනට, කිරුලපන ඉඳං කොහුවලට, ආපහු නුගේගොඩට..... ඔය රවුම ගාටනවා. හෝල්ට් එක දෙක නෙමේ පහ හය පයින් යන දවසුත් තියෙනවා. "ඇඟට හොඳයිනේ !" හිත මට කියනව.කොහොම හරි අදත් ඔය මෝඩ වැඩේ කළා.පොද වැස්සේ, මඩ මැදින්, දාඩිය පෙරාගෙන... මං ඇවිල්ල ස්වාධීන මිනිහෙක්.

කොහොම හරි නවයයි කාලට බෝඩිමට ඇවිත් නාල කාල, ලැප් රාජයා ඔන් කරලා ෆිල්ම් එකක් බාන්න දාල මේක කොටන්ඩ පටන් ගත්ත. දැන් 12.20යි. හෙට කැම්පස්. මේ ඇති වගේ. මං ගියා ඕන්....

Tuesday, January 3, 2012

බ්ලොගයට කෙල උනි !!!


000webhost කියන පාහර හොස්ටින්ග් සේවාව නිසා මගේ වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එකට කෙල උනා. 
Suspended for violating 20%+ CPU usage limit for more than 1000 times. Please upgrade to our premium UNLIMITED hosting at www.hosting24.com to get your account reactivated.
මේක ඇත්තද බොරුද කියල කියන්න සාක්ෂියක්වත් මුන් පෙන්නුවේ නැහැ. අඩු ගානේ සයිට් බැකප් එකක්වත් කරන්න නොදී සේරම ෆයිල්ස් ටිකයි ඩේටාබේස් එකයි ඩිලීට් කරලා. එකවුන්ට් එක ආපහු ගන්නනම් ගෙවන්න ඕනිලු. ඒත් ෆයිල්ස් ගැන වගකියන්නේ නැතිලු. මුන් වගේ හොරුන්ට සත පහක්වත් ගෙවන්න හිතෙනවද? ඒක නිසා මාත් බ්ලොගර් වලට මාරු උනා. පෝස්ට් ටිකනම් අපරාදේ තමයි. ඒත් ඉතින් මහා ලොකු දෙයකුත් නෙමෙයිනේ. අන්තිමේදී මෙච්චර කාලයක් හොඳම එක කියල හිතන් හිටපු සේවාව බලුම එක බවට පත් උනා....